Header Ads

  • Breaking News

    මුහම්මද් නබිතුමාගේ සමාජ සම්බන්ධතා



    මුහම්මද් නබිතුමාණෝ කිසිවකු මුණගැසීමට ගිය කළ, පිටත සිටම ‘සලාම්’ කියමින් නිවසට පිවිසීමට අවසර පැතූහ. එය රාත්‍රී කාලයක් වූ කලෙක, නිවැසියා අවදිව සිටීනම් ඔහුට ඇසෙන පරිදි ද ඔහු නින්දෙහි පසුවූවා නම් ඔහුට බාධාවක් නොවන පරිදි ද පිටත සිටම සලාම් කීහ. ඊට ප්‍රතිචාරයක් නොබුණේ නම් නිවැසියන්ට කිසිදු බාධාවක් නොකොට එතුමාණෝ ආපසු ගියහ.

    යම්කිසිවෙකු එතුමාගේ් ඇඳුම් මත රැඳුණු දුහුවිල්ලක් හෝ පරඬැලක් ඉවත් කළේ නම් එතුමාණෝ ඔහුට ස්තුති කොට “ඔබ නොරිසි සියල්ලන්ගෙන්ම ඔබව ඉවත්කර තැබීමට අල්ලාහ්ගේ පිහිට ලැබේවා” යි ප්‍රාර්ථනා කළහ.

    එතුමාණෝ තෑගිබෝග භාර ගත්හ. පෙරළා ඔවුනට ද තෑගි බෝග දුන්හ. තමන් නිසා අන් කිසිවකුට යම්කිසි හිරිහැරයක්, කරදරයක් වූවා නම් ඒ සඳහා තමන්ට දඬුවම් පමුණුවීමට, කරදරයට පත් අයට අවස්ථාව සලසා දුන්හ. නො එසේනම් අදාල අයට ත්‍යාගයක්, පඬුරක් යැවූහ.

    කිසිවකු අළුත් ඇඳුමක් හැඳ තමන් හමුවට පැමිණියේ නම් “කදිමය කදිමය මෙය ගෙවනතුරුම පළඳින්නැ”යි උපදෙස් දුන්හ.

    අනුන් තමන්ට කළ අතවරයක් වෙනුවෙන් පළිනොගත්හ. ඒ වෙනුවට අතවර කළවුන්ට සමාව දුන්හ.

    ගිලනුන් බැලීමට යාමට එතුමාණෝ විශේෂයෙන් ප්‍රිය කළහ. රෝගියා අසළටම වී හිඳගෙන, තොරතුරු විමසමින්, ඔහු ඉල්ලා සිටින යම් ආහාරයක් වේ නම් එය ලබාදීමට කටයුතු කළහ. එතුමාණෝ රෝගියාගේ පිටට අත තබා “ඉන්ෂාහ් අල්ලාහ්, ඔබට ඉක්මනින් සනීප වේවි” යි අස්වැසූහ.

    මළගම්වලට නොවරදවාම සහභාගි වීම එතුමාණෝගේ සිරිත විය. මළගමට සහභාගි වෙමින් ශෝකයට පත් නෑ හිතවතුන් අස්වැසීමට එතුමාගේ යුහුසුළු වූහ. එහෙත් සෙසු අයට විලාප නැගීමට ඉඩ නුදුන්හ. මෘතදේහවලට පිරිසිදු සුදු පැහැති ඇඳුම් අන්ඳවන ලෙස එතුමාණෝ බල කර සිටියහ. තමන් අසළින් අවමඟුල් පෙරහැරක් ගමන් කරන කළ, මළගිය අය ඉස්ලාම් භක්තිකයන් නොවූවත් නැගිට ගෞරව දැක්වීම එතුමාගේ සිරිත විය.

    මුහම්මද් නබිතුමාණෝ විශේෂයෙන් දරුවන්ට ප්‍රිය කළහ. “දරුවන් අල්ලාහ් ගේ උද්‍යානයේ පුෂ්පයන්ය” යි හැඳින් වූහ. ඔවුන් ඉස්ලාමීය ව්‍යාපාරයේ අනාගත නායකයන් යැයි ද පැවසූහ.

    කිසිවකු බිළිඳකු ගෙනෙනු ලැබූ කල එතුමාණෝ බිළිඳා වඩා උකුලෙහි තබාගත්හ. පළතුරු වාරයේදී මුල්ම පළතුරු නෙලාගත් විට එය දරුවන්ට පිළිගැන්වීම එතුමාගේ සිරිතය. බොහෝවිට එතුමාණෝ දරුවන් සමඟ ක්‍රීඩා කළහ.

    සෙස්සන්ට එතුමාණෝ සැළකූ අන්දම හසරත් අනස් තුමන් විසින් මෙසේ විස්තර කරනු ලැබුවේය.

    “මම රසුලුල්ලාහ් (සල්) තුමා සමඟ වසර දහයක්ම ගත කළෙමි. එතුමා කිසිවිටෙක මා පහත් කොට තැකුවේ නැත. මා කළ දෙයක්, කිසි විටෙක විවේචනය නොකළහ. මා යම්කිසි කාර්යයක් කිරීමට අතපසු කළ විට කේන්ති නොගත්හ. එතුමා සේවකයන්ටත්. තමන්ගෙන් යැපෙන්නන්ටත් එක හා සමානව සැළකූහ.

    Post Top Ad

    Post Bottom Ad