Header Ads

  • Breaking News

    දාවුදී බෝරා ජාතික මුස්ලිම්වරු -බෝරා ජාතික ඉතිහාසය හා සංස්කෘතිය



    නබි මුහම්මද් තුමනන්ගේ ඇවෑමෙන් පසු කලිෆ් නායකත්ව තනතුර සදහා මතභේද හේතුවෙන් ඉස්ලාම් අදහන සමාජය සුන්නි හා ෂියා යන කොටස් දෙකකට බෙදී වෙන්වී ගියේය.

    බෝරාවරු පැවත එන්නේ ෂියා පාර්ශවයෙනි.ලොවපුරා වාසය කරන බෝරා ජනතාව මිලියන 1.3 පමණ වේ. ඔවුන්ගේ වාසභූමි ලෙස සැලකෙන්නේ උතුරු ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයයි. 13 වැනි සියවසේදී යේමනය,ඉජ්ප්තුව ආදී රටවලින් පැමණි ෂියා නිකායට අයත් මුස්ලිම්වරු හින්දු ආගමික ඉන්දියානුවන් සමග මුසුවීම හේතුවෙන් බෝරා මානව කොට්ඨාශය නිර්මාණය වේ.

     බෝරා ජාතිකයන්ගෙන් ශ්‍රීලංකාව තුල ජීවත්වන්නේ දාවුදී බෝරා පිරිසයි.බෝරා යන්නෙන් අදහස් වන්නේ "වෙලදාමයි. "
    බෝරා මුස්ලිම්වරුන්ගේ භාෂාව දවාත් නී සබාන් වේ.
    එය ලොව වෙනත් කිසිදු ජාතියකට සුවිශේෂී නොවූ බොරාවරු අතර පමණක් භාවිතා වන භාෂාවකි.


    බෝරා ඉතිහාසය:
    බෝරා යන්නහි තේරුම "වෙළද කටයුතු සදහා වූ පාර්ශවය " පිලිබදවයි. දායි -අල් -මුලාක්  මද්‍යස්ථානය ඉන්දියාවේ පිහිටුවීමත් සමග ඉන්දියාව පකිස්ථානය ආදී රටවල්වල ව්‍යප්තවූ බොරවරු පසුකාලීනව විවිද ආගමික මත හා සමාජීය තත්වයන් හේතුවෙන් කුඩා උප කොටස්වලට බෙදී වෙන්විය.
    දායිවරයා යටතේ පාලනය වන බෝරා සමාජය වඩාත් ප්‍රචලිතව පවතින්නේ දාවුදී බෝරා සමාජයයි.
    1588 දී දාවුදී ඉබ්නු කුතුබ්ශාන් දායි සමයේ හා සුලයිමානි වශයෙන් බෙදී වෙන්වූ බෝරාවරුන් වඩාත් දියුණු තත්වයකට ලගාවූ සමාජය ලෙස සැලකෙන්නේ දවුදී බොරවරුන්ය.

    බෝරා නායක සර්දාර් සයිෆුදින් දී එස් සේනානායක මහතා සමග ගත් ජායාරුපයක් 

    බෝරා යන නාමය ලංකික ජනතාව ඔවුන් හදුනාගන්නේ බායි යන නාමයෙනි. සංස්කෘතික අමාත්යංශය මගින් පලකල සිංහල ශබ්දකෝෂයේ බෝරා යන හදුන්වා ඇත්තේ අවංක මිනිසා,බෝරාකාරයා යනුවෙනි. (සන්නස්ගල 1992,1228) එහෙත් බායි යන්නට ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂයේ ඇති අරුත වන්නේ අවංක ජාතිකයා බායි ආගම අදහන්නා ලෙස හෝ ඇෆ්ගන් වැසියා යන අදහසිනි (හෙට්ටිආරච්චි 1984- 1188)  එම හැදින්වීමට අනුව බොරවරු පිලිබදව පුළුල් අරතකතනයක් ගමය වන්නේ ද යන්න අවිනිශ්චිතය.

    ආඩම්ජි ලුක්මාන්ජි සමාගම 1865 වර්ශයදී 

    ශ්‍රීලංකාවට උරුම වූ බොහෝ සංස්කෘතික දායාදයන් හිමිවන්නේ ඉන්දියානු අභාශයෙනි.ආසනයේම පිහිටි රටක් නිසාවෙන්දෝ ඉන්දියාවෙන් ලද උරුමයන් බොහොමයක් අපරටේ ස්ථාපිත වූ අනගයන්ය.
    බුද්ධ ධර්මය,කුල පරම්පරාව,කළා ශිල්ප හා කළා අංග ආදී දායාදයන් මෙන්ම විවිධ ජන කොටස්ද ඉන්දියාවෙන් මෙරටට පැමිණ ම්හෙඉ පදිංචිව සිටිති. බොරවරුන්ද ඉන් එක ජන වර්ගයකි. ඉන්දියන් සාගරයේ ගමන් ගනිමින් තිබු නෞකාවක් කුණාටුවට අසුවීමෙන් අහම්බෙන් මෙරටට පැමිණි බොරවරු අද වනවිට කුඩා ජන වර්ගයක් ලෙස ලංකවේ ව්‍යාප්තව සිටි.

    බෝරා ජාතික මුස්ලිම්වරුන්ට ආවේනික වූ රිදී පැහැ හිස්පලදනාව 

    ශ්‍රිලංකාවේ ජීවත්වෙන මුස්ලිම් ආගමික ප්‍රජාව අතරින් ප්‍රධාන වශයෙන් මුර්,මරක්කල ,මැලේ ,මෙමොන් හා බෝරා  යනුවෙන් කොටස් 5 කට වෙන්කර දැක්වේ. (වෙනස් ඉතිහාසයන් - වෙනස් භාෂාවන් - සංස්කෘතික හා සම්ප්‍රදායන් අනුව මුස්ලිම් ජනවර්ග වෙනස් වේ.)

    මුර් ජාතික මුස්ලිම්වරුන්ගේ සම්බවය පෘතුගීසි හෝ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිදු වූ බවට සාක්ෂි පවතී. මෙමොන් ලෙස හදුන්වන ජනවර්ගය බ්‍රිතාන්‍ය පාලන සමයේ වර්තමාන පකිස්තාන සින්ද් ප්‍රාන්තයේ සිට ලංකාවට සංක්‍රමණය වූ ජන වර්ගයකි. ඔවුන් පිලිබදව මුල්වරට තොරතුරු හමුවන්නේ 1970 දිය. 1980 වනවිට මෙමොන් ජාතික මුස්ලිම් පිරිස 3000 දක්වා වර්ධනය වී පැවතිනි.මෙහා සමගාමිව උතුරු ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිට 1880 න පසු ලංකාවට සංක්‍රමණය වුවා යැයි සැලකෙන බොරවරු සහ කොජාවරු 1980 වනවිට ජනගහනය ප්‍රමාණයෙන් 2000 පමණ විය. මෙම ජන කොටස් තමන්ට අවේනික වූ මුස්ලිම් ආගමික සිද්ධස්ථානයන් ඉදිකර ගනිමින් ඔවුන්ට අවේනික භාෂාවෙන් ව්‍යවහාර කරමින් සිය වාසභූමි පිහිටුවා ගත්හ.

    කොජාවරු
    බෝරාවරුන්ට  සමාන්තරව මෙරටට පැමිණි බෝරා යන වචනය සමග එකට ඇදුනු අනෙක් නාමය කොජාවරුන්ය.(khojahs) 13වැනි සියවසේදී ඉස්මයිල් පිරිස ප්‍රධාන වශයෙන් ජෝටස් දෙකකට බෙදීමෙන් නිර්මාණය වූ නැගෙනහිර හා බටහිර ඉස්මයිල්වරුන්ගේ කොජවරු නැගෙනහිර පාර්ශවය නියෝජනය කල හින්දු ආගමිකයන්ගෙන් ඉස්ලාම් ආගම වැළදගත් පිරිස වේ.

    කොජා මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය දැක්වෙන සිතියම 

    බටහිර නියෝජනය කල බෝරාවරු නැවතත් සුලයිමානි හා දාවුදී බෝරා වශයෙන් වෙන්වී මෝහමදියානු නිතිය යටතේ පවත එති. මිට අමතරව දාවුදී බෝරා පිලිබදව අධ්‍යනයේදී සුන්නි බෝරා නමින් ඉස්ලාම් ආගමට කැපවූ ගුජරාටි ප්‍රන්තයේම ජීවත්වූ පිරිසක් පිලිබදව තතු හෙළිවේ.ඔවුන් තවමත් හින්දු චාරිත්‍ර හා සම්ප්‍රදායන් අනුගමනය කරමින් රාජපුත්‍ර ප්‍රදේශයේ වාසය කරයි.

    බෝරාවරුන්ගේ ආගමනයත් සමග හමුවන අනෙක් ජනවර්ගය නම් ගිජරාටි හුය.බෝරාවරුන් සමග වෙළද කටයුතුවල සහයට  මෙම ගුජරාටි ප්‍රජාව පැමිණ බව සදහන් වේ,

    ශ්‍රීලංකාවට හින්දු භක්තික ගුජරාටින්ගේ පැමිණීම සිදුවන්නේ බෝරාවරුන්ගේ පැමිණීමට සමාන්තරවය.ගුජරාටින් ලංකාවට පැමිණියේ බෝරාවර්න්ගේ වෙළද ව්‍යාපාරවල කළමනාකරුවන්,ගණකාධිකාරී හා වාර්තා තබන්නන් වශයෙනි (ගන්කන්ද 2007:187)


    බෝරා ජාතික මුස්ලිම්වරු අනෙකුත් මුස්ලිම් ජනවර්ග සමග කොයි ආකාරයකින්වත් මුහුවිමක් පෙනෙන්නට නැත. බෝරාවරු ලේ උරුමයෙන් පැවත එන පරම්පරාවක ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරයි. ශ්‍රිලංකාවේ ජිවත්වන බෝරාවරුන් මෙරට පදිංචි වීමට සිත්දුන් හේතු කිහිපයකි.තම වෙළද ව්‍යාපාර කටයුතු මැනවින් පවත්වාගෙන යාමත්,මෙරට සුන්දරත්වයට ඇති ප්‍රියතාවයත්,පකිස්ථානය ආදී අනෙකුත් රටවල්වල පවතින ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ඔවුහු මෙරට පදිංචිව සිටිති.

    මෙරට ජිවත්වන බෝරාවරුන්ගේ ප්‍රතිශතය හා ව්‍යාප්තිය කොළඹ දිස්ත්‍රික්කයට ප්‍රධාන වශයෙන් සීමාවී තිබේ. කොළඹ,පිටකොටුව,කිරුලපන,බම්බලපිටිය,දෙහිවල හා ගල්කිස්ස යන ප්‍රදේශ වල බෝරා ජාතික මුස්ලිම්වරු වාසය කරයි.ඔවුන්ගේ ආගමික මෙහෙයවීම මත මස්ජිදය ආසන්නයේම සිය වාසස්ථාන පිහිටා තිබීම ඊට හේතුවයි. මුස්ලිම් පල්ලිය සමග නිරන්තර සම්බදතා පැවැත්වීම බෝරා සමාජයේ වැදගත් ලක්ෂණයකි.

    බෝරාවරුන්ගේ ජිවන රටාව සැකසී ඇත්තේ ඉහල ධනපති පන්තියට සරිලන සේය.ඔවුහු අනෙකුත් මුස්ලිම් ජන සමාජයන්ට වඩා සුඛෝපභෝගී ජිවිත ගත කරති.බෝරා නිවාස දෙමහල් හෝ තෙමහල් ලෙස ඇති නවීන පන්නයට සරිලන සේ තැනු ඒවාය.ඔවුහු මහා වයාපරිකයෝය.අතීතයේ පටන් දැවැන්ත වෙළද ව්‍යාපාරයන් උසුලන ලද හිමික්රුවන්ය.


    බෝරා සංස්කෘතිය හා සම්ප්‍රදායන් :

    බෝරා සංස්කෘතියට විශිෂ්ඨ අංගවලින් පරිපුන් ඔවුන්ටම අවේනික වූ ඒවාය.ඇදුම් - පැළදුම් , කතාබහ, සමාජ රටාව,ආගමිකභාවය ආදී සියල්ලම විදහා පාන්නේ ඔවුන්ටම අවේනික වූ බෝරා සංස්කෘතික ගති ලක්ෂණයන්ය. ලොව අන් කොතනකදී වුවද බෝරා ජාතිකයා හදුනා ගැනීමට තරම් අනන්‍යතාවයක් සතුවේ.

    දාවුදී බෝරාවරුන්ගේ භාෂාව ලීසාන් උද් දවාන් නම් වූ ගුජරාටි උප භාෂාවකි.
    ඔවුන්ගේ ජාතික අඩුම වන්නේ "කොමිලිබාස් " නමින් හදුන්වයි. බෝරා කාන්තාව අදින "රිදාව " ඔවුන්ගේ සමාජයට පමණක් සුවිශේෂී වුවකි. බෝරා පිරිමියා "ටෝපි " ලෙස හදුන්වන හිස් පලදනාව ඔවුනටම අවේනික වුවකි.
    කෙසේවුවද බෝරා මුස්ලිම්වරු අරාබි හෝ ඉස්ලාමිය වත්පිළිවෙත් සමග ඉන්දීය හින්දු චාරිත්‍ර මිශ්‍ර වූ සංස්කෘතික රටාවක් අනුගමනය කරයි.

    බෝරා කාන්තාව අදින "රිදාව 

     "ටෝපි " ලෙස හදුන්වන රිදී පැහැයෙන් හැඩ කල හිස් පලදනාව ඔවුනටම අවේනික වුවකි.

    බෝරා කාන්තාව 
    ලොව අන් මුස්ලිම් කාන්තාවන්ට වඩා සුවිශේෂී බවල් බෝරා කාන්තාවන්ගේ ඇදුමෙන් කැපී පෙනෙයි,එය රීදාව නමින් හදුන්වයි.මුස්ලිම් කාන්තාවන්ගේ සම්ප්‍රදායික අබාය - හිජාව වඩා වෙනස් ආකාරයකින් රිදාව කොටස් දෙකකින් සමත්විත වේ.


    ඉන්දීය ගගාරි චෝලි මෝස්තරයට සමානව නිර්මාණය වී ඇති රිදාව පහල කොටස ඉන සිට වළලුකර දක්වා දිගු ලිහිල් සායකි . එවැනිම ලිහිල්වූ අත් රහිත සායකින් යුක්ත උඩුකයට වෙලයක් ආකාර පිටුපසට යොමුකරන ලද රෙදි කොටසකි.සාමාන්‍යයෙන් රිදාවක් සදහා රෙදි යාර පහ මාරක් පමණ අවශ්‍ය වේ.ටොපි නම් වූ හිස් පලදනාවේ රන් පැහැය බෝරා සමාජයේ  උදාරත්වය ප්‍රකට කරන්නක් මෙන්ම රිදාවේ යොදාගන්නා වටිනා රේන්ද හා විසිතුරු මැහුම් රටා ඔවුන්ගේ සමාජයේ ප්‍රභූත්වය විහිදා පායි .රිදාවේ ඉහල කොටසට සම්බන්ධ හිස ආවරණය කරන කොටස ඔවුන්ගේ සමාජයට ආගමික සම්ප්‍රදායක් එක්කොට ඇත.විවිධ මෝස්‌තර රටාවලින් අලංකාර කල රිදාව බෝරා කාන්තාවන්ට පමණක් සුවිශේෂ වූ ඇයගේ හැකියාවන් ඉස්මතු කරන සංස්කෘතිකාන්ගයකි . කාන්තාවන්ට රීදාව ඇදීම ආරම්භ කරන්නේ මිසාක් උත්සවයෙනි. බෝරා සමාජයේ දැරියක් වැඩිවියට පත්වීමත් සමග ආගමනුකුල ජිවන රටාවන පුහුණු කිරීම සදහා පවත්වන මිසාක් උත්සවයේ රිදාව ඇදීම අනිවාර්ය කෙරේ.

    බෝරා කාන්තාවන් අදින රිදාව හා බැදී පවතින විශේෂ ලක්ෂණය නම් ඔවුන් මස්ජිදය වෙත යාමෙදී තමන් ඇද සිටින රිදාවට ගැලපෙන යාඥා ඇතිරිල්ල හෙවත් "මුසල්ලා " භාවිතා කිරීමයි. රිදාව නිර්මාණයේදී ඊට ගැලපෙන යාඥා කලාලය බහාලීමට එම අමුද්‍රවයෙන්ම නිම වූ අත්බෑගයක්ද සකසා ගැනීම බෝරා කාන්තාවන්ගේ සුවිශේෂී පුරුද්දකි. මව අනුගමනය කරන කුඩා බෝරා දැරියන් ද එවැනිම වූ අත්බෑගයක් රැගෙන යති.


    බොරී මනාල යුවලකගේ ඇදුම් 
    මනාලයා ශ්වේත වර්ණ කුර්තාවෙන් හා පිජාමාවෙන් සැරසේ.ශරීරයේ උඩුකයට සායා නමින් හදුන්වන දිගු කබාය කුර්තාවට ඉහලින් ඇදගනී.මනාකොට වැඩදමා මසන ලද සාෆා නම් වූ සම්ප්‍රදායික තලප්පාව මනාලයාගේ හිසේ පලදවයි.තලප්පාවේ ඉදිරිපස පෙදෙස මුදුනේ සාර්පෙච් නමින් හදුන්වන හැඩ කල කුරුළු පිහාටු කිහිපයකි.තකත් නැතහොත් තක්ති මාල පෙත්ත මනාලයාගේ ගෙලෙහි පළදවන ආගමික පලදනාවකි.මනාලියගේ සම්ප්‍රදායික ඇදුම ලෙන්ගා-ඔදනී නම් වේ.ඇයගේ හිසට තැල්ලකින්  හා රන් ආභරණ වලින් හැඩවේ.


    බෝරා විවාහය :
    ඉස්ලාම් ප්‍රජාවක් ලෙස පිළිගැනෙන දවුදී බෝරාවරුන්ගේ විවාහ අවස්ථාව ඔවුනට අවේනික චාරිත්‍ර රැසකින් පරිපුර්ණ වේ,ජිවිතයේ ඉඅතා වැදගත් අවස්ථාවක් ලෙස සලකන විවාහය සදහා ඔවුන්ගේ සමාජයේ අධිකාරී බලය හිමි ආගමික නායකයාගේ අනුමැතිය හා අවසරය ලබා තිබීම අත්‍යවශ්‍ය අංගයකි.සිරිත් ප්‍රකාර මංගල උත්සවය සිදුවන්නේ සමාන කුලයේ සමීප ඥාති හෝ හිත මිතුරන් අතර පමණි.
    කුටුම්භයේ ප්‍රධානියා පුරුෂයාවේ. මව්පියන් හා බිරිද , දරුවන් රැකබලා ගැනීමේ වගකීම පුරුෂයාට පැවරෙන අතර එම යුතුකම් ඉටුකිරීම උදෙසා පුරුෂයා සතුව නිවසක් තිබීම වඩා වැදගත් වේ.
    බෝරා සමාජය තුල පුරුෂයාට දැවැදී දීමේ චාරිත්‍රයක් නැත. දැවැද්ද ලබා ගැනීම හෝ දීම ආගමික වශයෙන් විරුද්ධ වූ ක්‍රියාවකි.
    බොරි තාල් ලෙස හදුන්වන ආහාර බන්දේසිය 

    දික්කසාද හා බහු විවාහය 
    බෝරා සමාජයේ බහු විවාහ දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එක ස්වාමි පුරුෂයෙකුට එක බිරිදක් සිටීම වැදගත් බව ඔවුන්ගේ මතයයි.ඒකීය පවුලක වටිනාකම ඔවුන් පෙන්වාදෙන්නේ බහු විවාහ සහිත පුද්ගලයන් ලෝක වාර්තාවක් තබන්නට යනබව පවසමිනි.

    බෝරා සමාජය වෙතින් ලාංකික අංශ පෝෂණය වීම 

    කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටා තිබෙන කොළඹ මහා නගර සභාව පාලනය කරන ආදම්ජි ලුක්මාන්ජි මාතෘ නිවාසය ධනවත් ලුක්මාන්ජි පවුලේ පරිත්‍යාගයකි.
    වේල්ස්කුමාර විදියේ තවත් මාතෘ නිවාසයක් අදම්ජි ලුක්මන්ජි බෝරා ජාතිකයාගේ පරිත්‍යාගයකි.


    මානව හිතවාදී බෝරා ජාතිකයා -කරිම්ජි ජෆර්ජි .
    1830 වර්ෂයේදී කුනාටුවකට හසු වීමෙන් ගාලු වරායට අහම්බෙන් සේන්දු වූ ජෆර්ජී ඉසාජි වෙල්න්දාගේ පුත්‍රයා නම් මොහුය.වෙළදාම සදහා මෙරට පැවති යහපත් වතාවරණය පිලිබදව අවබෝධ කරගත් ඔහු ගාල නගරයේම පදිංචිය ආරම්භ කලේ සිය පුතු කරිම්ජි ජෆර්ජි සමගය.
    ව්‍යාපාරික ශුරත්වය නිසාම මෙරට පමණක් නොව ඉන්දියාව මාලදිවයින හා අනෙකුත් රටවල වෙළද කුමරු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.පළමුවරට ගාලු නගරයේ බෝරා මුස්ලිම් පල්ලියක් ස්ථාපිත කරනු ලැබුවේ කරිම්ජි විසිනි.1850 වනවිට ව්‍යාපාර කටයුතු වර්ධනය කරගැනීමේ අරමුණින් කොළඹට පැමිණි ඔහු පිටකොටුව නගරයේ සිය වෙළද ව්‍යාපාර නැවත ස්ථාපිත කරනු ලැබිය.

    කරිම්ජි ජෆෙර්ජි වෙත මහජන ප්‍රසාදය හිමිවුයේ බෝරා සමාජයෙන් පමණක් නොවේ.ඔහුගේ නිර්ලෝභී දායකත්වයෙන් ලැබුණු අධ්‍යාපනික ආගමික හා සෞඛ්‍ය අංශයන්ගේ පරිත්‍යාගයන් නිසාම අනෙකුත් මුස්ලිම් ජනවර්ග අතරේ ගෞරවයට පත්‍ර විය.
    ඔහුගේ සමාජසේවා අතර සහිරා විද්‍යාලය වෙනුවෙන් කල පරිත්‍යාගයන් කතාබහට ලක්වී පැවතිනි.මද්‍රසතුල් සහිරා යනුවෙන් අතීතයේ හැදින්වූ මෙම විද්‍යාලය ඒ.එම.වපුචි මරික්කාර් විසින් ආරම්භ කරන ලදුව මැලේ ජාතික ටි . බී ජායා මහතා විසින් තවදුරටත් සංවර්ධනය කොට ශාඛා ජාලයක් පිහිටුවනු ලැබිය.

    සහිරා විද්‍යාලය ගොඩනැගීම උදෙසා ගෘහ භාණ්ඩ ගොඩනැගිලි පරිත්‍යාගයන් හිමිවූ අතර කරිම්ජි මහතා ද එයට නිවාස යුගලක් පරිත්‍යාග කරනු ලැබිය.එම නිවාස වලින් ලද අදායමෙන් විද්‍යාල නඩත්තුව සිදුකල බව සදහන් වේ.

      බෝරා සමාජය වෙනුවෙන් කරිම්ජි මහතා 1906 දී පිටකොටුවේ සතරවන හරස් විදියේ පල්ලියක් ඉදිකළ අතර එය ඔහු නමින් "කරිම්ජි මස්ජිදය " ලෙස නම්කරනු ලැබිය. ඔහු සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ඇපකැප වූ මානව හිතවාදියෙකි.


    බෝරා මුස්ලිම් පල්ලිය හා ආගමික නායකයන් 
    ඉන්දීය සම්භවයක් සහිත ශ්‍රිලංකාවේ ජිවත්වන ෂියා නිකායට අයත් එකම ජනවර්ගය වන බෝරාවරුන්ට අයත් ප්‍රධාන ආගමික ස්ථාන හතරක් මෙරට ස්ථාපිත කර තිබේ. ගාල්ල,යාපනය,පිටකොටුව,හා කොළඹ යන ප්‍රදේශ සතර කේන්ද්‍ර කරගනිමින් ඔවුහු එම පල්ලි නිර්මාණය කර ඇත.
    තමන්ගේ වෙළද කටයුතුවලට පහසුවක් වෙන ලෙස සිය වාසස්තානයට ආසන්නයේම තම ආගමික ස්ථාන තනා ගත්හ. ව්‍යාපාර කරන අතරේ ධර්මය වෙනුවෙන් දැඩිසේ කැපවිය යුතු බවට සාක්ෂි සපයන ඔවුන්ගේ ආගමික දර්ශනය නිසා වෙළද නගර තෝරා ගැනීමට මුලික වී ඇත.දිනපතා පල්ලියට ගොස් වතාවන් කිරීමට හැකිවෙන පරිදි ඔවුහු පල්ලිය සමීපයේම නිවාස ඉදිකළහ.


    ගාල්ල බෝරා පල්ලිය (Bihor Namaaz in Jamdi Masjid Galle)
    බෝරාවරුන්ට විශේෂිත වූ මස්ජිද සතරෙන් ඉතා පැරණිම පල්ලිය ගාල්ල බෝරා පල්ලියයි.වෙළදාමේ යමින් සිට කුණාටුවට හසුවී අහම්බෙන් සේන්දු වූ පළමු බෝරා ජාතික ජෙෆර්ජී ඉසාජිගේ පුත් කරිම්ජී ජෙෆර්ජී විසින් වන්දනාමාන කටයුතු සදහා මෙම පල්ලිය ඉදිකර ඇත. පරණ මාතර පාරේ අයිස්මොල හන්දිය සමීපයෙහි පෙට්ටිගලවත්ත පාරේ පිහිටි මෙම පල්ලිය සීමිත ඉඩ ප්‍රමාණයකින් යුක්ත පුරාණ  පල්ලියකි.
    ලංකාවට ගොඩබට මුල් බෝරාවරුන්ගේ පෙළපතින් පැවතෙන එක පවුලක් පමණක් එහි ශේෂව සිටිති. මිට අමතරව අලුතින් පදිංචි වූ බෝරා පවුලක්ද එහි ජීවත්වේ.වෙරල තිරය සමීපයේ තනා  ඇති ගාල්ල බෝරා පල්ලිය 2004 දී සිදුවූ සුනාමි ව්‍යවසනයෙන් විනාශ නොවී ආරක්ෂා වුයේ දෙවියන්ගේ ශුද්ධ ස්ථානයක් නිසා බැව් බොරවරුන්ගේ විස්වාසයයි.
    Jama Masjid Galle sri lanka


    පිටකොටුව බෝරා පල්ලිය ( කොළඹ 14, 4 වන හරස් විදිය ) 
    සිය ව්‍යාපාර කටයුතු වර්ධනය කිරීමේ අරමුණින් බෝරාවරු කොළඹ ප්‍රදේශයට සංක්‍රමණය වුහ.වානිජමය වශයෙන් වැදගත් නගරයක් වන පිටකොටුවේ පදිංචි වූ ඔවුහු එහි දෙවන බෝරා පල්ලිය ඉදි කරගත්හ.
    1906 වසරේ පිටකොටුවේ 4 වන හරස් විදියේ ස්ථාපිත කල එම බෝරා පල්ලිය බෝරා ජාතික කරිම්ජි ජෙෆර් ජිගේ අනුග්‍රහයෙන් තැනවූ නිසා අතීතයේ "කරිම්ජි මස්ජිඩ්" යනුවෙන් හැදින්විය. එකවර දෙදහසකට පමණ වන්දනා කල හැකි මහල් කිහිපයකින් යුත් මෙම මස්ජිදය වර්තමානයේ පවා භාවිතා කරන්නේ බෝරා වෙළද පිරිසයි. පිටතින් බැලුවිට එහි අල්ලියක ස්වරුපයක් නොපෙනෙන්නේ පල්ලිය වටා ව්‍යාපාරවලින් පිරි පවතින බැවිනි.ව්‍යාපාර අරමුණු නිසාදෝ එම පල්ලියටනනෙකුත් මුස්ලිම්වරුන්ද ඇතුළුවනු දැකිය හැක.
    රතු පල්ලිය ලෙස හදුන්වන ජමි උල් අල්ෆාර් මස්ජිදය 

    යාපනය බෝරා පල්ලිය.
    විසිවන සියවස ආරම්භයත් සමග බෝරා ජාතිකයෝ ලංකාවේ විවිධ ප්‍රදේශ කරා සංක්‍රමණය විය. ඉස්මයිල් අමීර් නම් බෝරා ජාතික වෙළෙන්දා යාපනයේ ව්‍යාපාර ඇරඹීම නිසා ඔවුන්ගේ ව්‍යාප්තිය තවදුරටත් වර්ධනය විය.ඒ අනුව 1960 වර්ෂයේදී මෙර්ටා තෙවන බෝරා පල්ලිය යාපනයේ ඉදිඋව්නු අතර එම පල්ලිය වටා දමිල කතා කල හැකි බෝරා ජනතාවක් ද එහි ඇති විය.යුධ සමයේදී යාපනය බෝරා පල්ලිය විනාශ වීමට නොදී ආරක්ෂා කරගැනීම පිලිබදව මෙරට බොරාවරු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයන්ට ගෞරව ප්‍රණාම පල කරයි.
    යාපනය බෝරා පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු 

    බම්බලපිටිය බෝරා පල්ලිය. (කොළඹ 4-බම්බලපිටිය )
    ශ්‍රිලංකාවේ පිහිටි විශාලතම හා ජනප්‍රියතම බෝරා පල්ලිය ලෙස සැලකෙන්නේ කොළඹ 4 අදමිලි මාවතේ පිහිටි බම්බලපිටිය පල්ලියයි.බෝරා ජනතාවගෙන් බහුතරය කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ජිවත් වෙන බැවින් ඔවුන් උදෙසා 2000 වසරේදී බම්බලපිටිය බෝරා පල්ලිය ඉදිකර තිබේ. මුහුදු වෙරල තිරය ආසන්නයේ පිහිටි එය මහල් කිහිපයකින් යුක්ත වන අතර ,බැතිමතුන් පන්දහසකට පමණ යාඥාවේ යෙදිය හැකි සුවිසල් ආගමික සිද්ධස්ථානයකි.මෙම මස්ජිදය මගින් බෝරා දරුවන්ට අද්‍යාපනය ලබාදෙන බුරානියා  සෙරන්ඩිබ් ජාත්‍යන්තර පාසල මෙමගින් ක්‍රියාත්මක වේ.


    එකම දෙවියන් පිදීම.
    ෂියා ඉස්මයිලි , තයියිබ්, දාවුදී බෝරාවරු වෙන් වෙන් වශයෙන් පවත්නා අනන්‍යතාවයන් , සංස්කෘතියන් හා අචාර විධි අදින් සමත්විත ඉස්ලාම් ආගමික නිකායකි. අනෙකුත් සියලුම ඉස්ලාම් අදහන ජන වර්ග මෙන්ම බෝරා වරුද අල්ලාහ් දෙවියන් කෙරෙහිද ස්වකිය විශ්වස්වාන්තභාවය තහවුරු කරති. ඔවුන් සිදු කරන ඕනෑම වැදගත් කටයුත්තකදීම "බිස්මිල්ලා ආර් රහ්මාන් අල් රහීම් " යනුවෙන් මහා කාරුණික වුද මහා භාග්යවත වුද අල්ලාහ්ගේ උතුම් නාමයෙන් යනුවෙන් අල්ලාහ් දෙවියන්ට ප්‍රශංසාව පල කරති. දෙවියන්ගේ ඒකීයභාවය ප්‍රකාශ කරති.

    වක්තෘභාවය හෙවත් නබිත්වයේ අවසන් පුරුක වූ මුහම්මද් නබි තුමාණන් කෙරෙහිද ඔවුහු විශ්වය තබති.බෝරා මස්ජිදය තුල රන්වන් පහන් නබි පාඨ හුවා දක්වති.නබි තුමානන්ගේ ජන්ම දිනය සමරයි.

    ශ්වේත වර්ණය : 
    බෝරා සමාජයේ ශ්වේත වර්ණයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.ඔවුන් කිසිවිටකවත් කාල වර්ණය භාවිතා කරන්නේ නැත.බෝරා දරුවෙක් ඉපදුන විටත්,පුද්ගලයෙක් මියගිය විටත් ඔවුන් සැමවිටම සුදු පැහැය යොදා ගනිති.බෝරා පිරිමින සිය ජිවිත කාලය තුලදීම අදින්නේ සුදුපැහැ වස්ත්‍ර වේ. ශ්වේත වර්ණය චාම්බව අගයන ශුද්ධ වර්නයකි.
    ගන්දකන්ද මහතා විසින් රචිත අප නොදන්නා ලාංකිකයෝ කෘතියෙහි බෝරාවරු හදුන්වන්නේ සුදු ඇදගෙන ඉපදී සුදු ඇදුමෙන් අවසන් ගමන් යන පිරිසක් වශයෙනි. ඒ තරමට ඔවුන්ගේ ජිවිත වලට සුදු පැහැය සමීපය.


    සාරංශය :
    ශ්‍රීලංකාවට බෝරාවරු සංක්‍රමණය වන්නේ 1830 වර්ෂයේදීය.
    මෙරටට පැමිණි ප්‍රථම බෝරා ජාතිකයා වන්නේ ජෆර්ජී ඉසාජිය.
    ගාල්ල , පිටකොටුව,යාපනය හා බම්බලපිටිය යන ස්ථානයන්හිදී බෝරා මස්ජිද හතරක් ඔවුන් වෙනුවෙන් පිහිටුවා තිබේ.
    බෝරා මුස්ලිම් පල්ලිය තුලට කාන්තාවන්ට ප්‍රවේශ වීමට ඇති හැකියාව නිසා බෝරා සමාජය විශේෂ ජන කොටසකි.
    ඔවුන්ගේ සාක්ෂරතාවය ඉහල මට්ටමක පවතී
    ලෝකයේ ඉතා ධනවත් පිරිසක් ලෙස සැලකෙන බොරවරු මනා සංවිධානයක් සහිත ප්‍රජාවකි.
    ශ්‍රීලාංකික අර්තක සමෘද්ධිමත් කිරීමෙහිලා බෝරා දායකත්වය ඉහල අගයක් ගනී.
    බෝරා සංගමයේ සමස්ත ජනගහනය 2200 වඩා නැත.
    බෝරා යුවලකට දරුවන් 4 හෝ 5 ක් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි (එක පවුලකට දරුවන් 2 යුක්තය )



    ආශ්‍රිත  ජායාරුප :

    උත්සව අවස්තාවක් 

    ජනපති මෛත්‍රිපාල මහතා සමග බෝරා අද්යාත්මික නායකයන් 

    අවමංගල්‍ය අවස්තාවක් 

    කුටුම්භයක් තුල එක්ව ආහාර ගන්නා අවස්තාවක් 

    විවාහ චාරිත්‍ර 





    Post Top Ad

    Post Bottom Ad