අල්-ක්වාරිස්මි - ඇල්ජිබ්රා හෙවත් වීජ ගණිතය සොයාගත් ගණිත ක්රමයේ පුරෝගාමියා
Muhammad ibn Musa al-Khwarizmi
පෙනෙන විදිහට බින්දුවේ සිට නවය දක්වා තියෙන ඉලක්කම් ක්‍රමය ආරම්භ වුණේ ඉන්දියාවේ. ඒ ගණිත ක්‍රමය දැනගත් මධ්‍යතන යුගයේ සිටිය අරාබි විද්වතුන් එය අරාබි භාෂාවෙන් ලිව්වා. බටහිර රටවල් ඒ ගණිත ක්‍රමය ඉගෙනගත්තේ අරාබි මුස්ලිම් විද්වතුන්ගෙනුයි. ඔවුන් අතර සිටි මෙහොමඩ් ඉබින් මූසා අල්-ක්වාරිස්මි නම් ගණිතඥයා ඉතා ප්‍රසිද්ධ චරිතයක්. ඔහු ක්‍රි.ව. 780දී පමණ උස්බෙකිස්තානයේ ඉපදෙන්න ඇතැයි කියා විශ්වාස කරනවා. ඔහුව හඳුන්වන්නේ “අරාබි ගණිත ක්රමයේ පුරෝගාමියා” කියායි. ඒ නම ඔහුට පට බැඳුණේ කොහොමද?
“අරාබි ගණිත ක්රමයේ පුරෝගාමියා”
දශම සංඛ්‍යා භාවිත කිරීමේ ඇති ප්‍රයෝජනය ගැනත් ගණිත ගැටලු විසඳගන්න පුළුවන් විශේෂ ක්‍රමයක් ගැනත් අල්-ක්වාරිස්මි හඳුන්වා දුන්නා. ඔහු ඒ හැම තොරතුරක්ම පොතකින් ප්‍රකාශයට පත් කළා. (Kitab al-jabr wa’l-muqabala) වීජ ගණිතය හඳුන්වන “ඇල්ජිබ්රා” කියන ඉංග්‍රීසි වචනය හැදිලා තියෙන්නේ ඒ පොතේ නම ඇසුරෙන්. විද්‍යා ලේඛකයෙක් වන එසාන් මසූඩ්, වීජ ගණිතය ගැන මෙහෙම කිව්වා. “විද්‍යාවට හැම අතින්ම උදව් වෙන මෙතෙක් හොයාගෙන තියෙන හොඳම ගණිත ක්‍රමය එයයි.”
වීජ ගණිතය හුඟක් පාසැල් ශිෂ්‍යයන්ට අමාරු නිසා අල්-ක්වාරිස්මි මේ වගේ ගණිත ක්‍රමයක් හොයාගත්තේ ඇයි කියා ඔවුන් හිතනවා. ඒත් ඔහුට අවශ්‍ය වුණේ ගණිතය කියන විෂය අමාරු කරන්න නෙමෙයි තවත් පහසු කරන්නයි.
වීජ ගණිතය, අංක ගණිතය හා ත්‍රිකෝණමිතිය
සියවස් ගණනාවකට පසු බටහිර ගණිතඥයන් වන ගැලීලියෝ සහ ෆිබොනාච්චි, සමීකරණ ගැන අල්-ක්වාරිස්මි දුන් පැහැදිලි කිරීම බොහෝ සෙයින් අගය කළා. එය වීජ ගණිතය, අංක ගණිතය හා ත්‍රිකෝණමිතිය පිළිබඳ අවබෝධය තවත් වැඩි කරගන්න රුකුලක් වුණා. ත්‍රිකෝණමිතිය, මැදපෙරදිග විද්වතුන්ට ගොඩක් උදව් වුණු ගණිත ක්‍රමයක්. එය තාරකා විද්‍යාවේ දියුණුවටත් දායක වුණා.
දශම සංඛ්‍යා භාවිත කරන්න පුළුවන් විදිහ ගැන අවබෝධයක් ලබාගන්න අල්-ක්වාරිස්මිගේ සොයාගැනීම් උදව් වුණා. ඒ වගේම වර්ගඵලය හා පරිමාව ගණනය කිරීමේ අලුත් ක්‍රම දැනගන්න පුළුවන් වුණෙත් ඒ නිසයි. බටහිර රටවල්වල හිටපු ගෘහ නිර්මාණ ශිල්පීන් එවැනි අලුත් ක්‍රම පාවිච්චි කරන්න බොහෝ කාලයකට කලින් මැදපෙරදිග හිටපු ගෘහ නිර්මාණ ශිල්පීන් එම ගණිත ක්‍රම පාවිච්චි කරලා තිබුණා. බටහිර රටවල්වල අය ඒ ගණිත දැනුම ලබාගත්තේ කුරුස යුද්ධ කාලයේදී වහලුන් හැටියට ගෙනගිය දැනඋගත් මුස්ලිම් ජාතිකයන්ගෙන් හා ඒ රටවල්වල පදිංචියට ආ මුස්ලිම් අයගෙනුයි.
අරාබි ගණිත ක්‍රමවල ව්‍යාප්තිය
පසු කාලයකදී අල්-ක්වාරිස්මිගේ සොයාගැනීම් ලතින් භාෂාවට පරිවර්තනය කළා. ඒ කාලයේ හින්දු අරාබි ගණිත ක්‍රමය බටහිර රටවල්වල ප්‍රචලිත කිරීමේ පෙරමුණ අරන් වැඩ කළේ ඉතාලි ජාතික ගණිතඥයෙක් වන ෆිබොනාච්චියි. ඔහු ඒ ගණිත ක්‍රමය ඉගෙනගත්තේ මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශවල සංචාරය කරද්දියි. පසුව ඔහු සොයාගත් තොරතුරු ඇතුළත් කර පොතක් ලිව්වා.—එම පොත Book of Calculation.
අල්-ක්වාරිස්මි සොයාගත්ත දේ ප්‍රචලිත වෙන්න සියවස් ගණනාවක් ගත වුණා. ඒත් මේ වෙද්දී විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්රයට විතරක් නෙමෙයි ව්‍යාපාර ක්ෂේත්රයටත් ඔහුගේ ගණිත ක්‍රම නැතුවම බැරි දෙයක් වෙලා.
තොරතුරු බිඳක්
- අද දින භාවිත කරන ගණිත ක්‍රමය ආරම්භ වුණේ ඉන්දියාවෙයි. ඒ ක්‍රි.පූ. 3වෙනි සියවසේදීයි.
- හින්දු විද්වතුන් ඔවුන් සතු ගණිත දැනුම බැග්ඩෑඩ් නුවර විද්වතුන් සමඟ බෙදාගත්තේ අල්-මන්සූර් පාලකයාගේ කාලයේදියි.
- රෝම ඉලක්කම්වලට වඩා අරාබි ඉලක්කම් ලියන්න හරිම පහසුයි. උදාහරණයකට අරාබි ඉලක්කමෙන් 188 රෝම ඉලක්කමෙන් ලියන්නේ මෙහෙමයි. CLXXXVIII
මිල කළ නොහැකි උරුමයක්
“ඉලක්කම් සහ ගණිත ක්‍රම ගැන සඳහන් කරද්දී මැදපෙරදිග විද්වතුන් කළ මෙහෙය මිල කරන්න බැහැ.”—Science and Islam.
“අද දින භාවිත කරන ගණිත ක්‍රමය ජාතීන් කිහිපයකගේ දැනුමේ එකතුවක්. කෙසේවෙතත් ගණිත ක්‍රමය මුලින්ම ආරම්භ වුණේ ඉන්දියාවෙයි.”—Britannica Online Encyclopedia.
හින්දු-අරාබි ඉලක්කම් ක්‍රමය යුරෝපයේ “ප්‍රසිද්ධ වුණේ 15වෙනි සියවසේදීයි.”—Encyclopedia of Society and Culture in the Medieval World.