ආචාර ධර්මතාවය මුදුන්පත් කළ පිවිතුරු සමාජයක්
විශ්වාසවන්තයිනි, ඔබගේ නිවෙස් හැර අන් නිවෙස්වල නිවැසියන්ගේ ප්‍රියමනාපයෙන් හා එම නිවැසියන් වෙත සලාම් සාමාචාරය කරමින් මිස ගොඩ නොවන්න. මෙය ඔබලාට වඩාත් හොඳය, ඔබලා (මෙම ශීලය) සිතෙහි ග්‍රහණය කරගන්න. එහි කිසිවෙකුත් ඔබට හමු නොවූවද, ඔබට අවසර ලැබීමෙන් මිස එහි ගොඩ නොවන්න. ඔබට ඉවත්ව යන මෙන් පවසනු ලැබුවේ නම්, ඔබ (එතැනින්) ඉවත්ව යන්න. මෙ(ම ක්‍රියාවලි)ය ඔබට වඩාත් සුපිරිසිදුය. ඔබ කරන දේ ගැන අල්ලාහ් සර්වඥය. අල්-කුර්ආන් 24:27,28
මදීනා නගර වනිතාවක් නබි නායක තුමානන් වෙත පැමිණ, “අල්ලාහ්ගේ දූතයාණනි! මා තනිව නිවසෙහි සිටියදී, මාගේ පියා, පුතනුවන් ඇතුලූ කිසිවෙකුත් මාව දැකීම ප්‍රිය නොකරමි. එසේ තිබියදීත්, මාගේ ඥාති සහෝදරයින් අනපේකිෂිත ලෙස මා වෙත ආ වඩිති.
මෙවැනි අවස්ථාවන්හි මා කෙසේ හැසිරිය යුතුද”යන පැණයට පිළිතුරක් ලෙස ඉහත වැකිය අනාවරණය වූ බව අල්-කුර්ආන් විශ්ලේෂකයින් සඳහන් කරති.
ආචාර ධර්මතාවය මුදුන්පත් කළ පිවිතුරු සමාජයක් පිහිටුවීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් අන්-නූර් (ආලෝකය) යන පරිච්චේදයේ සඳහන්ය. මදීනා නගර කුහකයින් හා යුදෙව්වන්, මුස්ලිම් සමාජය සදාචාරයන් පිරිහීමකට ලක් කිරීමේ ප්‍රයන්තයක යෙදී සිටී අවදියක අන්-නූර් (ආලෝකය) යන පරිච්චේදය හෙළිදරව් කරනු ලැබුවේය. මෙම පරිච්චේදයේ විශ්වාසවන්තයින් පහත් ක්‍රියාවලින් තමාව ආරක්ෂා කර ගැනීමේ ක්‍රමෝපායන් හඳුන්වා දී ඇත. පරදාර සේවනය, දුරාචාර දෝෂාරෝපණය වැනි මහා පාපයනට පණවා ඇති සීමාවන් පහදා දීමෙන් අනතුරුව, අන් නිවෙස්වලට පිවිසීමේදී පිළිපැදිය යුතු සාරධර්මයන් පිළිබඳ වැකි සඳහන්ව ඇත.
ඉස්ලාම් මර්ගය දඞුවම් පමුණුවීමට වඩා එහි ඉලක්කය වී ඇත්තේ මානවයින් එයින් මුදවා ආරක්ෂා කිරීමය. මානවයින්ගේ ස්වභාවික වුවමනාවන් මඩින්නට හෝ එයට එරෙහි අරගලයක් දියත් කිරීම ඉස්ලාමයේ ඉලක්කය නොව, එහි පරමාර්ථය නම් එය විධිමත් ක්‍රමයකට සංවිධානය කිරීමය. ස්වභාවික මානව අවශ්‍යතාවයන් අනුමත ධර්මතාවයනට අනුකූලව ඉටු කිරීමේ ක්‍රමවේදයන් ලිහිල් කර, පාප කර්මයනට තුඩුදෙන සියලූ මාවත් වසා දැමීම ඉස්ලාමයේ මූලික අපෙක්ෂාවයි.
සදාචාරාත්මක මිනිසාට ඔහුගේ මානසික සහනය ගෙන දෙන නිවහනෙහි පෞද්ගලිකත්වය, ගරුත්වය හා විවේකය රුක ගැනීමටත්, සැකය ඇතුළු සියලූ පාප කර්මයන්ගෙන් ඔහු මුදවා ගැනීමටත් නිවෙස්වලට පිවිසීමේදී අප සැම සැලකිලිමත් විය යුතුය.
නබි නායක මුහම්මද්තුමාට පෙර විසූ අඥාන ජාහිලිය්යා කාල මිනිසුන් අන් නිවෙස්වලට පිවිසීමේදී පිළිපැදිය යුතු සදාචාරයන් ගැන නොදැනුවත්ව සිටියහ. සුභ උදෑසනක්, සුභ සන්ධ්‍යාවක් යනුවෙන් පවසමින් ඔවුන් අනපේකිෂිත ලෙස සෙසු නිවෙස්වලට ගොඩ වීම පුරුද්දක් කරගෙන සිටියහ. වර්තමානයේද මෙවන් සුභ පතන අපේ ඇත්තන් එය අඥාන ජාහිලිය්යා කාල මිනිසුන්ගේ පැතුමක් බවත් අමතක නොකල යුතුය.
අන් නිවෙස්වලට ගොඩවීමේදී, අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු “හත්තා තස්තානිසූ ව තුසල්ලිමූ” යන කාර්යයන් දෙකක් පිළිබඳව අල්ලාහ් දෙවිඳුන් අනුපිළිවෙළින් සඳහන් කරන්නේය. මෙය “අනුමතිය අපේක්ෂාවෙන් සලාම් පිළිවදන ලැබෙන තුරු” යනුවෙන් පොදුවේ පරිවර්තනය කලත්, ශුද්ධ අල්-කුර්ආන් ඉදිරිපත් කරන ගැඹුරු අර්ථයන් එළිදක්වන පරිවර්තනය මෙය නොවේ. හේතුව “හත්තා තස්තානිසූ” යන වැකිය අනුමතිය අපේක්ෂා කිරීමට අමතරව වෙනත් අරුත්ද එහි අන්තර්ගතය. අනුමතිය අපේක්ෂා කිරීමට අරාබි භාෂාවෙන් භාවිතා කරණුයේ “තස්තාදිනු” යන පදයයි. මෙය “ඉද්න්” (අනුමතිය) යන මුල් පදයෙන් විසංයුක්ත පදයකි. ඉහත විවරණයට උපුටාගනු ලැබූ අල්-කුර්ආන් වැකියෙහි “තස්තානිසූ” යන පදය සඳහන් වීම අවධාණයට ලක්විය යුතු කරුණකි. මෙය “උන්ස්” යන මුල් පදයෙන් භින්න වූ පදයකි. ශබ්දකෝෂ අකාරාදි අර්ථය සුහදශීලත්වයි, කුලූපගුකම, ප්‍රිය උපදවන, හිතෛෂී විය හැකි යන්නයි.
මේ අනුව අන් නිවෙස්වලට ගොඩවීමට පෙර නිවැසියන්ගේ අනුමතිය හා ප්‍රියමනාපයද තතු කර ගැනීමේ අවශ්‍යතාවය මෙහි අවධාරණය කර ඇති බව දැක ගත හැකිය. හේතුව අනුමතිය ලබා ගැනීමටත්,ප්‍රියමනාපය අත් කර ගැනීමටත් අතර අනේක වෙනස්කම් ඇත. දැනමුතුකම් ඇති කෙනෙකු දොරකොඩ අසල සිට අනුමතිය අයදීමේදී, බොහෝ විට නිවැසියා මනාපයෙන් හෝ අමනාපයෙන් වුවද ඔහුට ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙන්නේය. නමුත් ඔහු ලබා දුන් අවසරය ප්‍රසාදයෙන් හෝ අප්‍රසාදයෙන් හෝ සිදුවූවක් විය හැකිය. පොදුවේ කෙනෙකු දොරකොඩ සිටිමින් අවසරය පතන මොහොතක ඔහු ආපසු යැවීමට කිසිවෙකුත් කැමති නොවන්නේය.
අවේලාවක අනුමතිය අයදීමෙන් සමහර අවස්ථාවන්හි නිවැසියාව බොරු කීමට පොලඹවනවා පමණක් නොව, ඔහුගේ දූ දරුවන්ටද මුසාව ඉගැන්වීමේ වාතාවරණයක් ඇති විය හැකිය. ඊට අමතරව අප්‍රසාදයෙන් අනුමතිය ලබා දීමේදී, නිවැසියා හා ඔහුගේ පවුල, අපහසුතාවයටත් කරදරයටත් මුහුණදීමට සිදුවේවි. මෙවන් තත්වයන්ගෙන් සැම ආරක්ෂා කිරීමට නිවාසියාගේ ප්‍රසාදිත අනුමැතියෙන් අන් නිවෙස්වලට ගොඩවන ලෙස අල්ලාහ් දෙවිඳුන් විශ්වාසවන්තයින්ට මෙසේ අණ කර සිටින්නේය.
අන් නිවෙස්වලට ගොඩවීමේදී පළමුව සුදුසු වේලාව තෝරා ගැනීමද ඉතා වැදගත්ය. නිවැසියා ගිමන් හරින වේලාව, නිදියන අවස්ථාව, තම පවුලට වෙන් කරනලද වේලාව, කාර්යබහුල වේලාව, චාරිකාවකින් පසු නිවසට ආපසු පැමිණි අවස්ථා වැනි වාතාවරණයන්්හි ඔහු හමුවීමට අනුමතිය අයදීමෙන් වැලකී සිටීම සියල්ලන්ගේම යුතුකමකි. දුරකථන බහුලව භාවිතා කරණ සමකාලීන අවදියෙහි, හමුවීමට අවශ්‍ය පුද්ගලයාගෙන් දුරකථන ඔස්සේ කලින් වේලාවක් වෙන්කර ගැනීම ඉතා උචිතය.
දුර ඇමතුම පහසු කරන දුරකථනය, වද කථනයක් නොකර ගැනීමට වග බලාගැනීම සැමගේ වගකීමකි. ඈත අතීතයේ කෙනෙකුට ආමන්ත්‍රණය කිරීමට නම්, ඔහු මුහුණට මුහුණලා කථා කිරීම හැර වෙනත් මගක් හෝ ක්‍රමයක් නොවීය. නමුත් මෑත කාලයේ සබැඳියා ඇතිකර ගැනීමට අනේක ක්‍රම වේදයන් ඇත. දුරකථනය ඉන් එකකි. එහෙයින් නිසි වේලාවෙහි අනුමතිය අයදීමෙන් මුණ ගැසීමට යන ආකාරයේම,දුරකථන ඇමතුමටත් නිසි වේලාව තෝරා ගැනීම ඉතා වැදගත්ය. පොදුවේ කතාබහකදි පිළිපැදිය යුතු ධර්මතාවයන් ගැන මෙම වැකිවලින් අවබෝධ කරගත හැකිය. අවේලාවෙහි කරන දුරකථන සම්බන්ධතාවය හේතුවෙන් ඇතැමුන් බොරු පැවසීමට හේතුවන අතර, තම දූ දරුවන්ටද මුසාව ඉගැන්වීමේ වාතාවරණයක් බිහි කළ හැකිය.
අන් නිවෙස්වලට ගොඩවීමේදී පිළිපැදිය යුතු ධර්මතාවයන් ගැන උගන්වන මෙම වැකි පහල වු අවස්ථාවෙහි, අබූ බක්ර් තුමානෝ ‘අම්බලම, වෙළෙඳ සැල්, වැඩපොළ වැනි පොදු ස්ථානවලට පිවිසීමේදී කෙසේ හැසිරිය යුතුද?’ යන පැණයට පිළිතුරක් වශයෙන් පහත සඳහන් අල්-කුර්ආන් වැකිය පහළ වූ බවට එතුමා සඳහන් කරන්නේය.
“ඔබට ප්‍රයෝජන ගෙන දෙන අනේවාසික වාසස්ථානයනට පිව්සීම ඔබට වරදක් නොවේ. ඔබ හෙළිදරව් කරන හා සඟවන සියල්ල අල්ලාහ් හොඳින් දන්නේය.” අල්-කුර්ආන් 24:29
මෙම දේව වැකි හා සම්බන්ධ නොයෙක් (හදීස්) නබි වදන්, නබි චර්යාවන්හි ලේඛනගතය. එහි වැදගත් නබි වදන් කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
නිවැසියාගේ ප්‍රියමනාපයෙන් හා අනුමැතියෙන් ගොඩ වීමට මුල් වූ ප්‍රධානම අරමුණ, අනවසර දෙයින් දෑස මඟ හැරීම හා ආරක්ෂා කර ගැනීමට යැයි නබි නායක තුමානෝ පවසා ඇත්තේය.
‘ගොඩවීමේදී අවසර පැතීමට හේතුව, අනිසි බැල්ම අහවර කිරීමටය.’ මූලාශ්‍රය (සහීහ් අල්-බුහාරි හා සහීහ් මුස්ලිම්)
අනුමතිය අයදීමේදී පිළිපැදිය යුතු සදාචාරයන් පිළිබඳ නබි චර්යාවන් සමහරක් පහත දැක්වේ.
1-‘(ගොඩවීමට) අනුමතිය අයදීම තෙවරක් පමණි. එහි ඔබට අවසරය ලැබුනොත් (ඇතුල්වන්න). නැත්නම් හැරී ආපසු යන්න.’ මූලාශ්‍රය (සහීහ් අල්-බුහාරි හා සහීහ් මුස්ලිම්)
2- බනූ ආමිර් ගෝත්‍රිකයෙකු මෙසේ දැනුම් දෙන්නේය. “මා නබි නායක තුමානන්ගේ නිවසට ගොඩවීමට ‘ගෙට පිවිසිය හැකිද?’ යනුවෙන් මා එතුමාගෙන් අවසරය පැතුවෙමි. එයට නබි නායක තුමානෝ ‘ඔහු වෙත ගොස් අන් නිවෙස්වලට ගොඩවීමේදී පිළිපැදිය යුතු ධර්මතාවයන් ගැන ඔහුට කියා දෙන්න!’යනුවෙන් තම මෙහෙකරුට පැවසූහ. ඔහු මා වෙත පැමිණ, “අස්සලාමු අලයිකුම්, මා ගෙට පිවිසිය හැකිද?’යනුවෙන් අවසර පතන මෙන් මට කියාදුන්නේය. ‘අස්සලාමු අෙලෙකුම්, මා ගෙට පිවිසිය හැකිද?’ යනුවෙන් මා අවසර පැතුවෙමි. නබි නායක තුමානෝ මා හට අනුමැතිය ලබා දුන් අතර, පසුව මා එතුමාගේ නිවසට ගොඩවුනෙම්.” මූලාශ්‍රය (අබූ දාවූද්)
3- නබි ශ්‍රාවක ජාබිර් තුමා මෙසේ දැනුම් දෙන්නේය. “මා නබි නායක තුමානන්ගේ නිවසට පැමිණ ගෙයි දොරට තට්ටු කළෙමි. ‘කවුද?’ යනුවෙන් එතුමා විමසීය. එයට මා ‘මම මම’ යනුවෙන් පිළිතුරු දුන්නෙමි. ‘මම මම, කවුද ඒ? යනුවෙන් විමසූ නබි නායක තුමානෝ මාගේ ඉහත පිළිතුර පිළිකුල් කළ බව මා වටහා ගත්තෙමි.” මූලාශ්‍රය (සහීහ් අල්-බුහාරි හා සහීහ් මුස්ලිම්)
4- උම්මු හානී තුමිය මෙසේ දැනුම් දෙන්නීය. “මා නබි නායක තුමානන්ගේ නිවසට පැමිණියෙමි. එතුමා දිය නෑමින් සිටියේය. එතුමාගේ දියනිය ෆාතිමා තුමිය පොරවනයකින් ආවරණය කරමින් හුන්නාය. එම අවස්ථාවෙහි නබි නායක තුමානෝ ‘කවුද ඒ?’ යනුවෙන් විමසා සිටියේය. අනතුරුව මා ‘උම්මු හානී’යනුවෙන් පිළිතුරු දුන්නෙමි.”
මූලාශ්‍රය (සහීහ් අල්-බුහාරි හා සහීහ් මුස්ලිම්)
5- නබි නායක තුමානන් යම් නිවසක දොරකඩට පැමිණීමේදී, දොරකඩට මුහුණලා දොරටුව ඉදිරිපිට නොසිටින අතර දොරටුවේ දකුණු පැත්තෙහි හෝ වම් පැත්තෙහි සිටගනිමින් නිවෙසියාගෙන් අනුමතිය ඉලියමින් සලාම් පවසන්නේය. මූලාශ්‍රය (අබූ දාවූද්)
6- කෙනෙකු අනුමතියෙන් තොරව ඔබගේ නිවසතුලට එබිකම් කිරීමේදී, ඔබ ගල් කැටයකින් දමා ගසා එයින් ඔහුගේ නෙත ඉලිප්පුනද, එයින් ඔබ හට කිසිදු වරදක් නොමැත. මූලාශ්‍රය (සහීහ් අල්-බුහාරි හා සහීහ් මුස්ලිම්)
7- පුද්ගලයකු නබි නායක තුමානන් වෙත පැමිණ “මා මාගේ මෑනියන් සමඟ නිවසක වාසය කරන්නෙමි. මාගේ මෑනියන් වෙත පිවිසීමට මා ඇයගෙන් අනුමතිය ලබාගත යුතුද?” යනුවෙන් විමසා සිටියේය. එයට නබි නායක තුමානන්, එහෙමයි. ඔබ ඇයගේ අනුමතිය ලබාගෙන පිවිසෙන්නැයි පැවසීය. එයට ඔහු මාගේ මෑනියන්ට උදව් උපකාර කිරීමට මා හැර අන් කිසිවෙකුත් නොමැත. යනුවෙන් කියා සිටියේය. එයට නබි නායක තුමානන් ‘ඔබ ඇයගේ අනුමතිය ලබාගෙනම පිවිසෙන්න. ඔබගේ මෑනියන් ඔබ නිරුවත්ව දැකීමට කැමතිද?’ යනුවෙන් විමසා සිටියේය. එයට ඔහු නැත යනුවෙන් පිළිතුරු දුන්නේය. එසේනම් ඇයගේ අනුමතිය ලබාගෙනම පිවිසෙන්න. යනුවෙන් නබි නායක තුමානෝ ඔහුට තේරුම් කර දුන්නේය. මූලාශ්‍රය (මුඅත්තා)
බාල වයස්කාර ළමයින් පවා තම දෙමව්පියන්ගේ නිදන කාමරයට ඇතුල්වීමේදී, අවස්ථා තුනකදී අනිවාර්යයෙන්ම ඔවුන්ගෙන් අනුමතිය ලැබ පිවිසිය යුතුය.
1. හිමිදිරි සලාත් නැමදුමට පෙර අවදිවන උදෑසන සමය.
2. උණුසුම හේතුවෙන් වස්ත්‍ර උනන - දහවල් කාල වකවානුව.
3. රාත්‍රි ඉෂා සලාත් නැමදුමෙන් පසු නිදියන වේලාව.
බාල වයස්කාර ළමයින් වැඩිවියට පත් වුන කල, සෑම අවස්ථාවකදීම අනුමතිය සහිතව පිවිසිය යුතුය.මොවුන්ගේ විශයයෙහි අනුමතිය පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්ය යන වාග් ව්‍යවහාරය පහත අල්-කුර්ආන් වැකියන්හි සඳහන්ය.
විශ්වාසවන්තයිනි! ඔබගේ දකුණත් හිමිකරගත් අයද, ඔබ අතුරින් වැඩිවියට පත් නොවු බාල වයස්කාර ළමයින්ද, (ඔබගේ නිදන කාමරයට ඇතුල්වීමේදී) අවස්ථා තුනකදී අනිවාර්යයෙන්ම ඔබගෙන් අනුමතිය අයදිය යුතුය. හිමිදිරි සලාත් නැමදුමට පෙර, (උණුසුම හේතුවෙන්) වස්ත්‍ර උනන දහවල් කාල වකවානුව හා රාත්‍රි ඉෂා සලාත් නැමදුමෙන් පසුව. මෙය ඔබගේ පෞද්ගලික අවස්ථා තුන. මෙයින් ඔබ්බට ඔබට හෝ ඔවුනට (අනුමතියෙන් තොරව ඇතුල්වීමෙහි) වරදක් නොමැත. ඔවුන් ඔබ අතුරෙහි ගැවසෙන අය හෙයිනි. අල්ලාහ් ඔබට මෙලෙස (ශික්ෂා) වැකි පැහැදිලි කර දෙන්නේය. අල්ලාහ් සර්වඥය සර්ව ප්‍රාඥය. ඔබගේ බාල වයස්කාර ළමයින් වැඩිවියට පත් වුන කල, ඔවුනට පෙර අය අනුමතිය ලබා ගත් ආකාරයෙන්ම ඔවුන්ද අනුමතිය ලබාගත යුතුය. අල්ලාහ් ඔබට මෙලෙස තම (ශික්ෂා) වැකි පැහැදිලි කර දෙන්නේය. අල්ලාහ් සර්වඥය, ප්‍රඥාවන්තය. අල්-කුර්ආන් 24:58,59