Header Ads

  • Breaking News

    චෙන්නායි ප‍්‍රහාරය

    ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි හි ශී‍්‍ර ලාංකිකයින්ට ප‍්‍රහාර දියත්වීම පිළිබඳ විවිධ කතාබහ දේශපාලන ක්‍ෂේත‍්‍රයේදී මතුවෙමින් තිබේ. තිස්සමහාරාම පන්සලේ ඥානාලෝක හාමුදුරුවෝ ඇතුළුව තවත් කිහිප දෙනෙක් මෑත කාලයේ චෙන්නායිහි ප‍්‍රහාරයට ලක්වී ඇත. ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් හෝ ඔවුනට සහාය වීමක් වශයෙන් කරන මෙම පහරදීම්වලින් ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවට හානියක් මිස කිසිදු සේවයක් සිදු නොවන බව මුලින්ම කිව යුතුය. මෙවැනි සිද්ධීන් වලක්වාලීමේ වගකීම ඉන්දියානු මධ්‍යම රජයට මෙන්ම තමිල්නාඩු ප‍්‍රාන්ථ රජයට ද ඇති බව මතක්කළ යුතුය. මෑත කාලයේ සිට ශී‍්‍ර ලාංකිකයින් ඉන්දියාවේ දී, විශේෂයෙන් දකුණු ඉන්දියා වේ දී ප‍්‍රහාරයට ලක්වීම තුළ ශී‍්‍ර ලංකා රජය මතද යම් වගකීමක් පැවරෙන බවත් අමතක නොකළ යුතුය.

    මුහුදෙන් එතෙර සිදුවන මෙවැනි ප‍්‍රකෝපකාරී සිදුවීම්වලට එරෙහිව ලංකාවේ විවිධ උද්ඝෝෂණ පැවැත්වේ. එවැනි ප‍්‍රකෝපකාරී සිදුවීම් ලංකාව තුළ සිදුවීම කෙරෙහි එතරම් උනන්දුවක් දැක්වීමක් නොමැති බවද පෙන්වා දිය යුතුය. ශී‍්‍ර ලංකාවට බෞද්ධාගම පැමිණියේද ඉන්දියාවෙනි. එසේනම් එම බෞද්ධ භික්ෂූන් කෙරෙහි ප‍්‍රහාර එල්ල වන්නේ මන්ද යන්න සිතා බැලිය යුතුයි. 83 පූලි කලබල අවධියේ හෝ 2009 යුධ ජයග‍්‍රහණ කාලයේ හෝ නොවූ තරම් ප‍්‍රචංඩ කි‍්‍රයා ශී‍්‍ර ලංකාවට එරෙහිව චෙන්නායි හි දැන් සිදුවන්නේ මක් නිසාද යන්නත් සොයා බැලිය යුතුය.
    ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ චෙන්නායි උප කාර්යාලය කේරලයට මාරුකිරීම එකට එකක් කිරීමක් මිස ප‍්‍රශ්නයට විසඳුමක් විය නොහැකිය. මුලින් සාමාන්‍ය වන්දනා ගමන් කරුවන්ට එරෙහිව එසවූ අත අද භික්ෂූන්ට එරෙහිද එසවීම කෙරෙහි බලපෑ සාධක පරිශීලනය කළ යුතුයි. ශී‍්‍ර ලංකා රජය තානාපති සේවය ඔස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන හා සාකච්ඡුා කරමින් විසඳාගත යුතුය. තම රටට පැමිණෙන සංචාරකයින්ට පහරදීම කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නොවේ.

    එහෙත්, ඉකුත් වසරක කාලයක සිට බෞද්ධ භික්ෂුන්ගේ අනුග‍්‍රහය ඇතුව මෙරටේ මුස්ලිම්වරුන්ට එරෙහිව කරන ප‍්‍රකෝපකාරී කි‍්‍රයා ගැනද රජය මුණිවත රැුකීම හේතුවෙන් මුස්ලිම් ජනයා තුළ විශාල සැකයන් පවතී. පල්ලි කඩාදැමීම, පල්ලියේ පින්තූරවලට ඌරන්ගේ රූප සම්බන්ධ කිරීම, මක්කා පුරවරයේ පිහිටි ශුද්ධවූ ක:බාව සමගින් කාන්තාවන්ගේ රහස් පෙදෙස සම්බන්ධවන ලෙස පින්තූර සකස් කිරීම, මුස්ලිම් කඩසාප්පු වර්ජනය කරන ලෙස ප‍්‍රසිද්ධියේම ප‍්‍රචාර කිරීම වැනි කාර්යයන් අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසද? එය ඉක්මවා ගිය ආක‍්‍රමණද යන්න බළධාරියෝ හොඳින් දනිති.
    චෙන්නායි සිද්ධියට විරුද්ධව උද්ඝෝෂන පවත්වන උදවිය ශී‍්‍ර ලංකාවේ සිද්ධීන් අනුමත කිරීම සාධාරන දැයි කල්පනා කළ යුතුය. චෙන්නායි සිද්ධියට ඉන්දියානු රජය වග කිවයුතු නම්, ශී‍්‍ර ලංකාවේ ස්ද්ධීන්වලට ශී‍්‍ර ලංකා රජය මෙතෙක් සාධාරණය ඉටු නොකළේ මක් නිසා දැයි ප‍්‍රශ්නයක් ඇත. ලෝකයේ ජාතියකට ආගමකට විරුද්ධව කර ඇති මෙවැනිම කි‍්‍රයාවක් වාර්තාවන්නේ 1933 - මාර්තු 28 වැනි දින හිට්ලර් විසින් යුදෙව් වෙළඳසැල් වර්ජනය කරන ලෙස නිකුත් කළ නියෝගයයි. ශී‍්‍ර ලංකාවේත් එවැනි තත්ත්වයක් එලඹෙයි ද? ඉතා කල්පනාකාරීව කටයුතු කරමු.

    Post Top Ad

    Post Bottom Ad