Header Ads

  • Breaking News

    සිය දිවි නසා ගැනීම - ඉස්ලාමිය විසඳුම්



    මානව ඉතිහාසයේ සිය දිවි නසා ගැනීම නොහොත් ආත්ම ඝාතනය ගැන ඕනෑ තරම් ලියැ වී තිබේ. පැරණි රෝම සහ ග්‍රීක ශිෂ්ටාචාරයන් හී ද මෙම විෂය ගැන නොයෙකුත් සාකච්ඡා පවත්වා ඇත. යුදෙව් සහ ක්‍රිස්තු දහමේ ද හින්දු පෞරාණික ග්‍රන්ථයන් හි ද මේ ගැන සඳහන් වී තිබේ. පැරණි ජපන් ශිෂ්ටාචාරයේ සහ ආසියානු සංස්කෘතියේ අසිපතින් පොදු ස්ථානයක කුස කපා සිය දිවි ගැනීමේ හරාකිරි නම් ක්‍රියාව පිළිබඳව බහුලව සඳහන් වී තිබේ. මෙය බටහිර ශිෂ්ටාචාරයට පමණක් සීමා වූ එකක් නොව, මුස්ලිම් ජනයා බහුතරව ජීවත් වන ඇතැම් දේශයන් හී පවා දක්නට තිබේ.
    ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පවා සිය දිවි නසා ගැනීමේ සිද්ධි සාමාන්‍යයෙන් දිනකට 15 ක් පමණ සිදුවන බව පොලිස් වාර්ථා සඳහන් කරයි.

    එහෙත් ඉස්ලාම් මෙම ක්‍රියාව පැහැදිලිව තහනම් කර ඇති බව කවුරුත් දන්නා කරුණකි. අල් කුර්ආනයේ ආත්ම ඝාතනයට තහනම් පනවා ඇත්තේ මෙසේය.

    “ඔබ අතර කොටා මරා නොගනිවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කෙරෙහි දයාලුය.“4/29

    “තොපගේ අතින් තොපි විනාශයට නොවැටෙවු.“ 2/195

    මිනිස් ජීවිතය ඉතාමත් පවිත්‍ර එකක් බව අල් කුර්ආනය පැහැදිලිව පවසයි. ඉස්ලාමිය ප්‍රතිපත්තියේ ජීවත් වීමේ අයිතිය අන්තර්ගත වී තිබෙන අතර යුක්ති සහගත හේතුවක් නොමැතිව මිනිස් ජීවිතයක් විනාශ කළ නොහැක. අපේ ජීවිතය අපේ මැවුම්කරුගෙන් අපහට ලැබු තෑග්ගකි. එය රැක බලා ගැනීම අපේම යුතුකමකි. අල්ලාහ්ගේ දයාව පිළිබඳව සිත් කලකිරීමට ලක් වීමේ හේතුවෙන් හෝ ලෞකික ප්‍රශ්න හේතුවෙන් හෝ සිය දිවි විනාශ කර ගැනීම ඉස්ලාම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

    මුහම්මද් (සල්) තුමාණෝ මෙසේ අවවාද කළහ.

    “කිසිවෙක් යම් දෙයකින් ආත්ම ඝාතනය කර ගත්තේද, එ මගින්ම ඔහු යළි නැගිටුවනු ලබන දිනයේ දඬුවම් දෙනු ලබන්නේය.“ සහීහ් බුහාරි සහ මුස්ලිම් වාර්තා කරති.

    “එය මහත් පාපයක් වන අතර, ඒ සඳහා දණ්ඩනය අල්ලාහ්ගේ මනාප පරිදිය. ඔහු කැමති නම්, ඔහු එය සඳහා සමාව දෙන්නේය. ඔහු කැමති නම් දඬුවම් දෙන්නේය.“ යනුවෙන් තවත් හදීසයක් පවසයි. මෙම වදන, පිළිගත් ආගමික විද්වතුන් විසින් තහවුරු කරන ලදී.

    ජීවිතය යනු කෙළවර නොමැතිව මුහුදු රැලි මෙන් දිගින් දිගට පිළිවෙළින් පැමිණෙන මොහොතවේ. එහි කෙළවර දෙකේ අප සිත කුල්මත් කරන ඉතා ප්‍රීතිමත් මොහොතද අප ශෝකයට, දොම්නසට හෝ සිත්තැවිල්ලට පවා පත් කරන අඳුරු අවස්ථාවන්ද අඩංගු වී ඇත. ප්‍රීතිය සහ එයට විරුද්ධ වන ශෝකය මිනිස් ජීවිතයේ නියමය වේ. කෙසේ වෙතත්, මෙවැනි අවස්ථාවන් හි අපේ චිත්තවේගය පාලනය කර ගත නොහැකි වන විට, අප සිත්තැවිල්ලට පත් වෙමු. අපගේ සියලු බලාපොරොත්තු හා ආශාවන් අතුරුදන් වූ විට අප ලක් වන මානසික තත්ත්වය සිත්තැවිල්ල වන අතර, එය මහත් අනතුරුදායක එකකි. සිත්තැවිල්ලට ලක් නොවන ලෙස, විශේෂයෙන් අල්ලාහ්ගේ කරුණාව පිළිබඳව සිත්තැවිල්ලට පත් නොවන ලෙස අල්ලාහ් අපට පවසයි.

    මෙලොව අප මුහුණ දෙන පෙලඹ වීම සහ පරීක්ෂාව මැද අල්ලාහ් අපව අතරමං කර හෝ අමතක කර හෝ නැත. ඔහු සදා කාරුණිකය; අපව බලසම්පන්න ආයුධ මගින් ශක්තිමත් කර ඇත. අති කාරුණික අල්ලාහ්, අපහට පැහැදිලි මාර්ග සපයා කරුණු දෙකක් ගැන පොරොන්දු වෙයි. අපි ඔහුට පමණක් නැමදුම් කර, ඔහුගේ මාර්ගය අනුගමනය කළහොත්, ඔහු අපහට ස්වර්ගය පිරිනමන බවද, සෑම පිඩාවකින් පසුව පහසුතාවය දකින බවද පොරොන්දු වෙයි.

    “විශ්වාස කර යහ දැය කළ අයද - එහි යටින් ගලා බසින ගංගාවන් ඇති ජන්නාවෙහි අපි ඔවුන් ඇතුළු කරන්නෙමු. ඔවුහු සදාකල් එහි වෙසෙති. (මෙය) අල්ලාහ්ගේ සත්‍ය ප්‍රතිඥාවය. අල්ලාහ්ට වඩා සත්‍යය පවසන්නේ කවරෙක්ද? (කිසිවෙකු නැත)“ අල් කුර්ආන් 4:122

    “සැබැවින්ම දුෂ්කරකම සමඟ සහනය ඇත්තේය. ඇත්තෙන්ම දුෂ්කරකම සමඟ සුලබ බව ඇත්තේය.“ අල් කුර්ආන් 94:4, 5

    “මගේ දුකද මගේ ශෝකයද එළිදරව් කරන්නේ අල්ලාහ්ටමය. තොප නොදන්නා දැය මම අල්ලාහ්ගෙන් දනිමි යි ඔහු කීවේය.“ අල් කුර්ආන් 12:86

    “මුස්ලිම්වරයෙකුගේ කිසිදු අවාසනාවක් හෝ අසනීපයක් හෝ සිත්තැවිල්ලක් හෝ දුකක් හෝ හානියක් හෝ කටුවක් ඇනෙන පිඩාවක් වුවද (සිදුවන්නේ) නැත - ඒවා හේතු කොටගෙන අල්ලාහ් ඔහුගේ ඇතැම් පාපයන් සඳහා සමාව දෙන්නේය.“ යැයි මුහම්මද් (සල්) තුමාණෝ පැවසුහ. වාර්තා කළේ සහීහ් අල් බුහාරි. ඉස්ලාම් දහමේ මූලික අරමුණ අල්ලාහ් සමඟ මිනිසා ස්ථීර සම්බන්ධකම පැවැත්වීම සඳහා පොළඹවීමයි.

    මිනිසුන් විසින් සිදු කරන ඉතා බරපතළ වරද ඔවුන්ගේ ලෞකික ජීවිතයෙන් ඔවුන්ගේ ධාර්මික ජිවිතය වෙන් කිරීම තැබීමවේ.

    පීඩා සහිත අවස්ථාවන් හි මිනිසුන්ව දොම්නසට පත් වීමට සහ අල්ලාහ් සමඟ ඔහුගේ සම්බන්ධකම අහෝසි වු බවට සිතීමට කෙනෙක්ව පත් කරන්නේ චිත්තවේගී හැඟීම්, මුදල් පිළිබඳ අසහනය, මත් ද්‍රව්‍ය භාවිතය හෝ සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න වැනි ලෞකික ජීවිතය සම්බන්ධ කරුණු වේ.

    විශේෂයෙන්ම, හුදකලා වීම හෝ තම සමීපතම ඥාතීන් හා මිතුරන් වැනි අයගෙන් වෙන් වීම, මෙම නව ශත වර්ෂයේදී බොහෝ දෙනෙක් ජීවිතයේ කලකිරීමට භාජන වීමට හේතුවේ.

    අප සිටිනා තත්ත්වය පිළිබඳව අල්ලාහ් සම්පූර්ණ අවබෝධ යෙන් සිටින අතර, ඒ ප්‍රශ්නයන්ට මුහුණ දෙන්නට ඔහු අපට ඕනෑ තරම් මාර්ග සපයා ඇත. ඒවා නම් ඉවසීම, කෘතගුණය, අල්ලාහ් කෙරෙහි විශ්වාසය යනු එහි කරුණු කිහිපයකි. කෙසේ වෙතත්, දොම්නස හේතු කොට ගෙන ජීවිත හානි සිදු කිරීමට පවා කෙනෙක් අදහස් කරන්නේ නම් ඒ ගැන වැඩි අවදානය යොමු කිරීම අවශ්‍යවනු ඇත. මෙහිදී අපි මතකයේ තබා ගත යුතු කරුණක් නම්, අල්ලාහ් ඉමහත් අනුකම්පා සහිත බවද, අපි කුමන තත්ත්වයක සිටියත් ඔහු අපට උදව් කිරීමට නිතරම සූදානම්ව සිටින බවය.

    අසීමිත කරුණාව, දයාව, ත්‍යාගශීලි සහිත අල්ලාහ්, අප තුළද මෙවැනි ගුණාංගයන් වර්ධනය කරන ලෙස අණ කර ඇති අතර, මිනිසුන් එකිනෙකා අතර ගෞරවයෙන් සහ සාධාරණව සැලකිලි දැක්විය යුතු බවද දන්වයි. ප්‍රශ්න සහ පීඩාව සහිත කිසිවෙක් සමාජයේ තනිවම දුක් විඳීමට ඉඩ නොතිබීමද මෙහි පියවරකි.

    සුළු වශයෙන් හෝ සහය සහ සැලකිලි දැක්විම තුළින් කෙනෙක් සිය දිවි නසා ගැනීම වන මහා පාපයෙන් ඉවත් කිරීමට හැකි වනු ඇත. අපි එකිනෙකාට සමච්චල් කිරීම, නිග්‍රහ කිරීම, අපහාස කිරීම, බැණ වැදීම යන දේ නොකරන ලෙස, අල්ලාහ් අපට අණ කරයි.

    “විශ්වාස කරන අයවලුනි! පිරිමින්ගෙන් ඇතැමෙක් ඇතැමකුට සරදම් නොකළ යුතුය. මොවුහු ඔවුන්ට වඩා යහපත් වන්නට පුළුවන. ස්ත්‍රීහු ද ඇතැමෙක් ඇතැමකුට සරදම් නොකළ යුතුය. මොවුහු ඔවුනට වඩා යහපත් වන්නට පුළුවන. ඔබ තමන් අතර අපහාස නොකළ යුතුය. විකට නමින් බැණුම්ද නොකළ යුතුය. විශ්වාසයෙන් පසු නපුරු නාමය නරකය. යම් කෙනෙක් පසුතැවිලි වී නොහැරෙන්ද, ඒ අයමය වරද කරන්නේ.“ අල් කුර්ආන් 49:11.

    අන් අයට අසාධාරණ කිරීම හෝ පීඩා කිරීම වැනි පාපයන්හි නිරත වන ජනයාට අල්ලාහ් දඬුවම් දෙන බව අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) තුමාණෝ පවසා ඇත්තාහ.

    “ඔබගෙන් යමෙක් වරද කෙරේද අපි මහත් වූ දඬුවමක් ඔහුට අගු බලවන්නෙමු.“ අල් කුර්ආන් 25:19

    “මුස්ලිම් වරයෙක් තවත් මුස්ලිම්වරයෙකුගේ සොයුරෙක් වේ. එනිසා, ඔහු තම සොයුරාට පීඩා හෝ පිඩා කරන්නෙකුට ඔහුව භාර කිරීම හෝ නොකළ යුතුයි. ඔහුගේ සොයුරෙකුගේ අවශ්‍යතාව ඉටු කරන්නේ කවරෙකුද ඔහුගේ අවශ්‍යතාව අල්ලාහ් සම්පූර්ණ කර දෙයි. ඔහුගේ සොයුරෙකුගේ අපහසුතාව කවරෙකු ඉවත් කරන්නේද, ලෝකාන්ත දිනයේ ඔහුගේ අපහසුතා අල්ලාහ් ඉවත් කරන්නේය. මුස්ලිම්වරයෙකුගේ (පාපය) කවරෙකු ආවරණය කරයිද, අල්ලාහ් ඔහුව ලෝකාන්ත දිනයේ ආවරණය කරන්නේය.“ යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර සහීහ් අල් බුහාරි.

    එ හෙයින්, අන් අයට යහපත් සැලකිලි දැක්වීමෙන් ප්‍රතිලාභයක් තිබෙන බව නිසැක යැයිද, විශේෂයෙන් මිත්‍රයන් හෝ පවුලේ සාමාජිකයන් අසාධාරණ හා අකාරුණික සැලකිල්ලට ලක් වන අවස්ථාවන් හි ඔවුන්ට සැලකිලි දැක්වීමෙන් යහපත් ප්‍රතිඵලයක් අපහටද ලැබෙනු ඇත. සමාජයේ අසාධාරණ වාතාවරණට හසු වී එයින් බැට කා දොම්නසට පත්ව ජීවිතය හුදකලාවේ ගෙවන කෙනෙකු ගේ තත්ත්වය ගැන කුමක් පවසන්නද? පරාජිත සිතුවිලි නිසා පීඩාවට පත්ව සිය දිවි නසා ගැනීමේ ප්‍රපාතයට සමීපව සිටින කෙනෙකු යළි ආරක්ෂිත ස්ථානයට ගෙන එන්නේ කෙසේද?

    මෙය නොයෙක් ආකාරයෙන් සිදු කළ හැකි වේ.

    Ø පළමුව අල්ලාහ් සමඟ ඔහුගේ සම්බන්ධකම තර කිරීම. අල් කුර්ආනය පාරායනය කිරීම, අල්ලාහ්ව අධික ලෙස සිහි කිරීම, අධිකව දුආ ප්‍රාර්ථනා කිරීම වැනි ක්‍රියා මාර්ගයන් මගින් ස්ථීර භූමිකාවක් ඔහු තුළ ගොඩ නැගිය හැකි වේ.

    Ø සාතාන්ගේ ක්‍රියා මාර්ගය ගැන අවබෝධ කර ගැනීම මෙහි වැදගත් කරුණකි. සාතාන් දිළිඳුකම සහ අසරණ තත්ත්වය පෙන්වා කෙනෙකුව බියට පත් කරයි. සතාන් පෙන්වන්නේ සැබෑවක් නොවේ. අල්ලාහ්ගේ අසීමිත කරුණාව සියලු දේ අභිභවණය කරයි. එනිසා ජිවිතයේ අඳුරු මොහොතේ පවා අල්ලාහ්ට සහ ඉස්ලාමයට ඇලී ගැලී සිටිය යුතුයි. මෙහි සඳහන් කරුණු වලට අමතරව අල්ලාහ් මුහම්මද් නබි (සල්) තුමාණන්ව සියලු ජනයාට සියලු ලොවට මෛත්‍රියක් වශයෙන් පහළ කරන ලදී. එතුමාණන්ව අනුගමනය කිරීමට උත්සාහ කිරීමෙන් සිත්තැවිල්ලට පත් වූ කෙනෙක් සිත් සහනයට පත්ව අල්ලාහ්ට සමීප වෙයි.

    අල්ලාහ් සියලු දේ පාලනය කරන බවද, අපි සියලු දෙනාටම ස්වර්ගයේ වාසස්ථාන ලබා දීම ඔහුගේ අභිලාශය බවද අප මතකයේ තබා ගන්නේ නම්, අපේ දුක දොම්නස සියල්ල ඉවත දමන්නට අපට හැක. අල්ලාහ් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය සහිතව අපි බිය හෝ සැක උපදවන ඕනෑම කරුණු වලට මුහුණ දෙන්නටද අප සියලු අවස්ථාවන්හි ඉවසීම සහ කෘතඥතාව සහිතව පියවර තබන්නටද පුහුණු වුයේ නම්, අපගේ සිත් සැහැල්ලු වන අතර දුක හා සැක අපෙන් තුරන් වනු ඇත.

    මෙවැනි පුද්ගලයින් පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන් මෙසේ පැවසුහ.

    “විශ්වාසවන්තයෙකුගේ කාර්ය කෙතරම් මවිතයට පත් කරන්නේද? ඒවා සියල්ල ඔහුගේ ශුභ සිද්ධියටයි. ඔහුට පහසුකම් දෙනු ලැබුවේ නම් ඔහු එයට කෘතවේදී වෙයි. එය ඔහුට යහපතකි. ඔහු පීඩාවට පත් වුයේ නම්, ඔහු දැඩි වීර්ය යොදා කටයුතු කරයි. එයද ඔහුට යහපතකි.“ මූලාශ්‍ර සහීහ් මුස්ලිම්.



    මේ කරුණු අපි සියලු දෙනාම සිතේ තබා ගෙන ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දීමට අල්ලාහ්ගේ සම්පූර්ණ ආරක්ෂාව යටතේ සූදානම්ව සිටිය යුතුයි. ආමින්.




    ජාසිම් ඉබ්න් දඉයාන්

    Post Top Ad

    Post Bottom Ad